තාත්තා කෙනෙක්ගේ ආදරේ කොයි වගේද? අහස වගේ අනන්තයි, පොලොව වගේ ශක්තිමත්. ජීවිතේ අනේක දුක් දරමින්, කුස ගින්න උහුලමින් අපිට ලෝකයක් තනන්නට කොයි තරම් මහන්සි ගන්නවාද. මේ අප්‍රමාණ අසීමිත සෙනෙහස හිතේ ගුලි කර ගනිමින්, දහසකුත් බලාපොරොත්තු මැද පියවරුන්ගේ දුෂ්කර ජීවිකාව ගැන ප්‍රේමකුමාර ජයවර්ධනයන්ගේ පන්හිදෙන් හරි අපූරු ගීයක් නිර්මාණය වෙනවා.
කරදිය පිරිච්චි මහ මුහුදේ, කාෂ්ටක අව්වට පිච්චි පිච්චි මහ පාරේ, දුමෙන් දුවිල්ලෙන් පිරිච්ච ගොඩනැගිලි ඇතුළේ ආදරණීය පියවරු මේ මහන්සි ගන්නේ තමන්ගේ ලෙයින් හැදුණු වැඩුණු මේ පුංචි කිරිකැටියන්ට සුන්දර වු ලෝකයක් තනන්නට.......
කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත් පා යදඬු කරන්නයි
කිරිකැටි පුතුනේ . . . කිරිකැටි පුතුනේ . . .
අව්වට වැගිරෙන දාඩිය වැස්සේ
කලුගල් තලලා මහ මං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුනේ . . . කිරිකැටි පුතුනේ . . .
කම්හල් ඇතුලේ දුම් රොටු අතරේ
දැතිරෝදෙට නව ජීවය දුන්නේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුනේ . . . කිරිකැටි පුතුනේ . . .
මේ සොදුරු ගේය පද සංකල්පනාවට එඩ්වඩ් ජයකොඩි ශූරීන්ගේ ලයාන්විතවූ හඬ පෞරුෂය එක් වූ විට පියවරුන්ගේ සෙනෙහස තව තවත් හදවතට ලං කරනවා.
No comments:
Post a Comment